ඔහු ලාංකේය කලා කෙතට පෑයූ උදා ඉරක් වැන්න. ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද තමා තුළ පවතින හැකියාවෙන් ප්‍රේක්ෂක සන්තානය කැලඹ වූ ඔහු සොදුරු මිනිසෙක්. “...
ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද තමා තුළ පවතින හැකියාවෙන් ප්‍රේක්ෂක සන්තානය කැලඹ වූ ඔහු සොදුරු මිනිසෙක්. “සමනල සංධ්වනිය” චිත්‍රපටය වෙනුවෙන් ඔහු ඉටු කළ රංගන දායකත්වය අමතක කළ නොහැකිය.
සූර්යා දයාරුවන් අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පියෙක්.
මේ ඔහු සති අන්තපුවත්පතක් සමග කල කතාබහ.
මේ දවස් ගෙවෙන්නෙ කොහොමද?
මේ දවස්වල මම රංගනයෙන් දායක වන දිවිතුරා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම “දිවිතුරා” ටෙලි නාට්‍යයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය නොඅඩුව ලැබෙනවා. මම රංගනයෙන් දායක වන අලුත් ටෙලිනාට්‍යයක් ඔක්තෝබර් මස විසි වැනිදා පටන් ගන්නවා. ඒක නම් කරලා තිබෙන්නෙ “කලියුගය” කියලා.
එහි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන්නෙ මම. එය 70 දශකයේ කාලය පාදක කරගෙන නිර්මාණය වුණ ටෙලිනාට්‍යයක්.
මීට දින කිහිපයකට කලින් “එක රැයින්” ගීතය නිකුත් කළා. මගේ නවතම ගීතයේ නිර්මාණ කටයුතු වෙනුවෙන් ලක ලෑස්ති වෙමින් ඉන්නවා.
මම ගෙවීගිය කාලයේදී සංගීතය වෙනුවෙන් අඩු කාලයක් තමයි යෙදවූයේ. ඉදිරියට සංගීතය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මම ඉංග්‍රීසි චිත්‍රපටයක වැඩ කටයුතු සිදු කරගෙන යනවා.
ඉදිරියේදී නෙට්ෆ්ලික්ස් ෆ්ලැට්ෆෝම් එක හරහා එය නිකුත් කිරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා. ඒක නම් කරලා තිබෙන්නෙ ‘Back to Elephant Island’ කියලා. මේ චිත්‍රපටයේ හඬකැවීම් කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහොම තමයි මේ දවස් ගෙවෙන්නෙ.
ඔබ ගායකයෙක් වගේම රංගන ශිල්පියෙක්. මේවා සමබර කරගන්නෙ කොහොමද?
මේ ලෝකයේ ජීවත් වන ඕනෑම මනුස්සයෙක් තුළ ඕනෑම දෙයක් කිරීමේ හැකියාව තිබෙනවා. තමන්ට අවශ්‍ය කාලය නිසි අයුරින් කළමනාකාරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නෙ.
පුද්ගලයෙක්ට එක් වෘත්තියක හිණි පෙත්තටම ගමන් කිරීමට අවශ්‍යයි නම් එම විෂය වෙනුවෙන් විශාල කැපකිරීමක් කිරීමට සිදුවෙනවා.
ඇතැම් විට මම ඒ දෙය දකින්නෙ මෙන්න මේ විධියට. කලාකරුවා කියන පුද්ගලයා බොහෝ දේවල්වලට දක්ෂ පුද්ගලයෙක් වීම අවශ්‍යම දෙයක්.
ගායනය, රංගනය, ඔහු චිත්‍ර ශිල්පියෙක් නම් චිත්‍ර ඇඳීම, ගීත රචනා කිරීම, කවි ලිවීම, පොත් ලිවීම මේ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පුළුල් දැනුමක් තිබීම තමයි සුන්දර කලාකරුවෙක් බිහි කරන්නෙ. රංගනය තුළ යම් රිද්මයක් තිබෙනවා. ගායනය කියන දෙය තුළත් එවැනිම රිද්මයක් තිබෙනවා. අපි මේ රිද්මය හසුකරගන්න ඕනේ.
ඒ රිද්මය අල්ලගත් පසු විශිෂ්ටයෙක් වීමේ හැකියාව ලැබෙනවා. ඒ රිද්මය තමයි අපිට අපේ තැන ලබාදෙන්නෙ.
මම කාලයක් නිවේදන ශිල්පියෙක් වශයෙන් වැඩ කළා. මේ හැමදෙයත් එක්කම ජීවිතය ගලාගෙන යද්දී අපිට දැනෙන්න ගන්නවා ජීවිතයේ රිද්මය. අපි මේ සියලු දේ සමබර කර ගනිමින් ජීවත් වෙන්න ඉගෙන ගත යුතුයි.
මේ දේවල් සමබර කර ගැනීමේ හැකියාව ඕනෑම පුද්ගලයෙක් තුළ තිබෙනවා. මම මගේ කාලය කළමනාකරණය කර ගනිමින් අවශ්‍ය දෙය අවශ්‍ය විධියට මට පුළුවන් උපරිමයෙන් සිදුකරගෙන යනවා.
අපි ජීවත් වෙන්නෙ ඉතා පොඩි කාලයයි.
ඒ කාලය තුළ අපිට ලැබෙන දෙයට උපරිම සාධාරණත්වය ඉටුකිරීම තමයි මගේ අරමුණ වෙන්නෙ.
සූර්යා දයාරුවන් ඔබේ නවතම ගීතය “එක රැයින්” ගැන කතා කරනව නම්?
මේ වනවිටත් එක රැයින් කියන ගීතයට ඉතා යහපත් ප්‍රතිචාර ලැබෙනවා.
අපි දන්නවා මේ සංගීත ක්ෂේත්රයට කලින් කලට එක එක විලාසිතාවන් එනවා “ට්‍රෙන්ඩ්ස් එනවා” මට අවශ්‍ය වෙන්නෙ ඒ දේවල්වලින් මගේ නිර්මාණයන් වෙනම තැනක තබන්න. මම මේ ගීතයට මුලින්ම ආසක්ත වුණේ පද රචනාව කියවලා.
ඕස්ට්‍රේලියාවේ ජීවත් වන අමිලා බණ්ඩාර කියන මහත්මිය තමයි මට මේ ගීතය රචනා කරලා දෙන්නෙ.
මට මේ ගීතය දැකපු වෙලාවෙ දැනුණ හැඟීම වචනවලට සිර කරන්න බැරි තරම්. මට මේ ගීතය එක රැයින් ජනප්‍රිය ගීතයක් කිරීමේ වුවමනාවක් නැහැ.
මේ ගීතය සෙමෙන් සෙමෙන් ප්‍රේක්ෂකයා වැලඳ ගන්නවා නම් තමයි මම කැමති.
මේ ගීතයේ රූප රචනය කරන්නෙ කසුන් මහේන්ද්‍ර හීනටිගල. ඒ ගැන කතා කරනව නම්?
කසුන් තමයි මගේ. “මගේනේ” ගීතය රචනා කළේ. අපි සහෝදරයො වගේ. නිර්මාණයක් සාර්ථක වෙන්නෙ ආදරයෙන්, මනුස්සකමින්, සහෝදරකමින් ඒ දෙය සිදු කරන විට නැත්නම් මේ නිර්මාණ කටයුතු අතරතුර කවුරු හෝ කියනවා නම් මගේ පද රචනය තමයි උඩට එන්න ඕන, එහි සංගීතය කරන පුද්ගලයා කියනවා නම් මගේ සංගීතය, ගීතය පුරාවේ කැපී පෙනෙන්න ඕන කියලා, ඒ නිර්මාණය සාර්ථක වෙන්නෙ නැහැ.
අපි පවුලක් විධියට වැඩ කරනවා නම් අපි දැන ගන්න ඕනේ එකාවන්ව සැම දෙනාගේම දක්ෂතා ආරක්ෂා වෙන ලෙසට වැඩ කරන්න.
මෙහි රූප රචනය ගීතයට අභියෝගයක් නොවන ලෙස එහි ගුණය ඔප්නැංවීමට උපකාරී වන ලෙස නිර්මාණය කිරීමට ඔහු කටයුතු කළා.
ඇතැම් ගීතවලට රූප රචනාවක් අවශ්‍ය නැති තරම්. නමුත් මේ ගීතය ප්‍රේක්ෂකයා අතරට ගෙන යෑමට තිබූ අවශ්‍යතාව නිසාවෙන් රූප රචනාවක් සිදු කළා.
අපිට සමාජ මාධ්‍ය තුළ විවිධ ෆ්ලැට්ෆෝම්ස්වලට මේ ගීතය නිකුත් කිරීමට රූප රචනයක අවශ්‍යතාව දැඩිව දැනුණා.
මේ කාලයේදී අපි දකින්නෙ එකම රාමුවක ගීත, ඒවා උඩින් පල්ලෙන් කතාවෙන ඉතා සරල ගීත. මම හිතුවෙ මේ ගීතය තුළින් ප්‍රේක්ෂකයාව වෙනත් තැනකට කැඳවාගෙන යන්න.
මේ ගීතයේ බොහෝ තැන්හි ඕෂෝ වැඩ සිටිනවා. ඒ ගීතයට දාර්ශනික බරක් එක් කරන්නද?
ඇත්තටම ඕෂෝ හෙවත් භගවාන් රාජ්නීෂ් කියන්නෙ උන්මන්තකයෙක් කියලා කිසිවෙක්ට හදුන්වන්න පුළුවන්.
ඔහු දැනුම පිළිබඳව දැඩි ලෙස උමතුවෙන් බැදුණු කෙනෙක්.
ඒ දැනුම ගැන හිතා ගන්න බැහැ.
සියලු ආගම් තුළ පවතින හරය ඔහු ඔහුගේ දේශනා තුළ දියකරගත් කෙනෙක්.
ඔහු ආදරය පිළිබඳව බොහෝ දේ දේශනා කළ කෙනෙක්. මට අවශ්‍ය වුණේ මේ ගීතයට ඕෂෝ හරහා දාර්ශනික ප්‍රවේශයක් රැගෙන එන්න.
ප්‍රේමය කියන දෙය ගැන ඔබ දකින්නේ කොහොමද?
ආදරය, ප්‍රේමය මොන විධියට හැඳින්වුවත් අපි ඒ දෙය හරියට තේරුම් අරන් නැහැ. බුදුන් වහන්සේ, යේසුස් වහන්සේ, මහා කවියෝ සාහිත්‍යධරයො පවා මේ ගැන බොහෝ දේ කියා ලියා තිබෙනවා. එය එකිනෙකාගේ ශක්තිය සහ දරාගැනීම මත වෙනස් වෙනවා.
ආදරය කියන්නෙ මේ ලෝකෙ තිබෙන ලස්සනම දෙය. ඒක අපිට තේරුම් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අර ගීතයක තිබෙන්නෙ. “එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනකු නැතේ” කියලා.
ප්‍රේමය කියන්නෙ එහෙම දෙයක්. මේ ගීතයේ තිබෙන්නෙ ආදරයේ දාර්ශනික ප්‍රවේශය. අත්හැරීම සහ අල්ලා ගැනීම කියන චක්‍රයෙන් ඉවත් වූ විට එතන ශුන්‍යත්වය උපදිනවා. ඒ ගැන තේරුම් ගන්නවා නම් ඒ ඇති.
ඇයි නව නිර්මාණ බොහෝමයක් නුවර වපසරිය කේන්ද්‍රගත කරගෙන නිර්මාණය වෙන්න?
මම එහෙම දෙයක් ගැන ඇත්තටම දන්නෙ නැහැ. නුවර වැව රවුම කේන්ද්‍ර කර ගනිමින් මියුසික් වීඩියෝස් ලක්ෂ ගණනක් රූගත කරලා තිබෙනවා.
මේ කාලයේ තිබෙන අර්බුදය තුළින් හටගත් පැට්රල් සහ ඩීසල් ප්‍රශ්න නිසා තමයි අපි තීරණය කළේ මෙහි රූගත කිරීම් නුවර දී සිදු කිරීම හොඳයි කියන දෙය.
මේ අර්බුදයන් නොතිබුණා නම් මම මේ ගීතය මගේ ගමේ රූගත කරන්නත් ඉඩ තිබුණා. නුවර වැව රවුමෙ තිබුණ නොස්ටැල්ජික ගතිය සහ වැව රවුමෙ සුන්දරත්වය ගැන සලකා බලලා තමයි අපි නුවර මේක රූගත කළ යුතුයි කියන තැනට එන්නේ.
ඔබේ ඉදිරි වැඩ කටයුතු ගැන කතා කරනව නම්?
මම රංගනයෙන් දායක වන චිත්‍රපට හතරක් තිරගතවීමට නියමිතයි.
බොදු තාත්තා, තානාපතිලගෙ ගෙදර, තට්ටු දෙකේ ඉස්කෝලෙ කියන්නෙ ඒ චිත්‍රපට. ඒ වගේම ගීත කිහිපයක සංගීතමය වැඩ කරගෙන යනවා.
ගිහාන් සචින්ත