මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ ඉතා සුන්දර අගනා කලාවක්. මේ ක්ෂේත්රය තුළ දිගු කාලයක් තිස්සේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම එතරම් පහසු කටයුත්තක් න...
මෝස්තර නිරූපණ ශිල්පය කියන්නේ ඉතා සුන්දර අගනා කලාවක්.
මේ ක්ෂේත්රය තුළ දිගු කාලයක් තිස්සේ ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවේ.
ඒ සඳහා මනා කුසලතාවක් මෙන්ම අත්දැකීම් රාශියක් අවශ්‍යයි.
එලෙස නිරූපණ ක්ෂේත්රය තුළ නමක් තබාගෙන දිගු ගමනක් පැමිණ සිටින රූමතියක් තමයි චූලා පද්මේන්ද්‍ර කියන්නේ.
මේ ඇය සති අන්තපුවත් පතක් සමග කල අපූරු කතාබහ.
ඉතින් චූලා කොහොමද ඔබට?
මම අලුතින් ආරම්භ කළ අධ්‍යාපන කටයුතු, දරුවාගෙ කටයුතු, විනිශ්චය කිරීමේ රාජකාරි සහ පුහුණු කිරීම් වගේ කටයුතු නිසා ඇත්තටම මේ දවස්වල නම් ටිකක් කාර්යබහුලයි.
ඔබ මේ ක්ෂේත්රයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?
මේ වෙද්දි මං ක්ෂේත්රයට ඇවිත් අවුරුදු 25කට ආසන්නයි.
ක්ෂේත්රය තුළ ඔබට හිමිවුණු අවස්ථාවන්වලින් කිහිපයක් මතක් කළොත්?
මුලින්ම අපි පටන් ගත්තෙ ‘Colombo Fashion Week’ වලින්. 2003 වසරේදී සිදුකළ එම අවස්ථාව සඳහා FTV නාළිකාවේ මාධ්‍ය ආවරණය හිමිවුණා.
එමඟින් එය ලෝකෙ පුරාම විසිරුවා හරිනු ලැබුණා. එතැනදි අපිට ඉන්දියාවෙ සුමිත් වර්මා, මුවිරාජ් කෝසල වගේ ප්‍රවීණයන් මෙන්ම අපේ රටේ සේනක, මයිකල් විජේසූරිය වැනි ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පීන් සමඟ වැඩ කරන්න අවස්ථාව ලැබුණා. බි්රතාන්යයේදී ‘Close Model, Platinum Model’ කියන මෝස්තර නිරූපණ ක්ෂේත්රයේ ඒජන්සි දෙකකත්, ‘ඉන්දියන් ෆැෂන් වීක්’වලත් වැඩ කරන්නට මට අවස්ථාව ලැබුණා. ‘Model of the world’ පැජන්ට් එකේදි මට වැඩිම සම්මාන ලැබුණු මෝස්තර නිරූපණ ශිල්පිනිය ලෙස සම්මානය දිනාගැනීමට හැකිවුණා. ඒ වගේම සෑම අවුරුද්දකම මම ‘Man of the glow’හි කෝච් කෙනෙක් විධියටත් වැඩ කරනවා.
චූලා මේ ක්ෂේත්රයට එන්න කලින් වෙනත් රැකියාවක නිරත වුණා නේද?
ඔව්. නිරූපණ ක්ෂේත්රයේ පූර්ණකාලීනව නියැළෙන්නට පෙර මම ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙස සේවය කළා. ඒ දවස්වල රැකියාව කරන අතරතුර නිරූපණ කටයුතුවල නිරත වන්නට අවස්ථාවක් තිබුණෙ නැහැ. ඒ නිසා මං පොඩි කාලෙ සිටම දුටුව සිහිනය වෙනුවෙන් මම ඒ රැකියාවෙන් ඉවත්වෙන්න තීරණය කළා.
නිරූපණය ක්ෂේත්රය ගැන වර්තමානයේ ලංකාවේ තිබෙන්නෙ ඒ තරම් හොඳ මතයක් නෙවෙයි. ඔබ හිතන විධියට ඒකට හේතුව මොකක්ද?
දැන් ගොඩක් වෙලාවට සිදුවෙන්නෙ ඡායාරූප ශිල්පීන්, කොරියොග්රැෆර්ස්ලා කියන අය නිරූපණ ක්ෂේත්රයේ නවක ළමයින්ව යොදාගෙන අනවශ්‍ය රූගත කිරීම් කරලා ඒ මාර්ගයෙන් ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබාගැනීමට උත්සාහ කිරීමයි. ඉතින් මවුපියො තමන්ගෙ ළමයින්ව මේ ක්ෂේත්රයට එවන්න බයයි. ඒත් අපි මේ ක්ෂේත්රයට එද්දි එහෙම නැහැ. පුදුම ගෞරවයක් අපිට තිබුණෙ.
ඒ මතය වෙනස් කරන්න මොනවද කරන්න පුළුවන්?
ඇත්තටම අපිට විතරක් මේක තනියම වෙනස් කරන්න බැහැ. ඇත්ත කතා කළත් මඩ ගහනවනෙ. දක්ෂතාව නැති අය සෝෂල් මීඩියාවල මොනවා හරි පේජ් ටිකක්, චැනල් ටිකක් කරන අය එකතු කරගෙන එයාලට පාටි දීලා අල්ලගෙන එයාලට කැමැති දේවල් ලියවා ගන්නවා. ගොඩක් අය කිසිම විමසීමක් නොකර මේ දේවල් පිළිගන්නවා. මුලින්ම අපි දැනගන්න ඕනෙ සෝෂල් මීඩියාවලින් පුම්බන හැමෝම කියන්නෙ ඇත්ත නෙවෙයි කියලා. මාධ්‍යයට මෙතැනදි ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ මිනිස්සුන්ගෙ ඔළු නිවැරැදිව වෙනස් කරන්න.
චූලා මෝස්තර නිරූපණ ශිල්පිනියක් වගේම ඒ සම්බන්ධව දරුවන්ට ගුරුහරුකම් දෙන ගුරුවරියක්. මොනවද ඒ ගැන කියන්න තියෙන්නෙ?
මෙහෙමයි අපි මේ ක්ෂේත්රයට ආවෙ ඇත්තටම මේ ක්ෂේත්රයට තිබෙන ආදරේ නිසා මිසක් ජනප්‍රිය වෙන්න හිතාගෙන නෙවෙයි. නමුත් දැන් ඉන්න නවකයන්ට අවශ්‍ය මොනවාහරි කරලා ජනප්‍රිය වෙන්නයි. ඉස්සර වගේ දැන් ප්‍රසංග නැහැ. අපිට ලොකු ගෙවීම් කරන්නෙත් නැහැ. ප්‍රමිතියක් නැතුව බොරු හීන පෙන්නලා නවකයන්ව එළියට දානවා. අන්න එහෙම ළමයි යන්න තැනක් නැති වුණාම තමයි ගණිකා වෘත්තියට පවා පෙලඹෙන්නෙ. මම අදටත් මගෙන් ඉගෙන ගන්න සිසුන්ට කියන්නෙ ස්ථිර රැකියාවක් තබාගෙන මේක අමතර රැකියාවක් විධියට කරන්න කියල.
ඔබ අද මේ ඉන්න තැනට එන්න ලොකු වෙහෙසක් දරන්න ඇති. ඉතින් ඒ ගමනෙදි කැපිලි කෙටිලි එහෙමත් ආවද?
ලොකු මහන්සියක් දරලා තමයි මෙතැනට ආවේ. නමුත් ඒ කාලෙ මේ වගේ කැපිලි කෙටිලි තිබුණෙ නැහැ. මොකද ඒ කාලෙ අපේ ක්ෂේත්රයෙ හිටියෙ බොහොම දක්ෂ, උගත් පිරිසක්. දක්ෂතාව නැති අය තමයි මඩ ගහන්නෙ. කොච්චර සල්ලි තිබුණත් දක්ෂතාව සල්ලිවලට ගන්න බැහැනෙ. ඒක අපි කැපවීමෙන් හදාගන්න ඕනෙ.
ඔබ එක්තරා නිරූපණ ශිල්පිනියක් සම්බන්ධයෙන් කතාකොට තිබුණා. ඒ ගැටුමත් ඇති වුණේ ඔබ නිතරම ඇත්ත කතා කරන නිසාද?
මගෙ තාත්තා මට සෑම විටම කියලා තියෙන්නෙ බොරු කරන මනුස්සයටත් වඩා ඒ බොරුව දැක දැකත් කට වහගෙන ඉන්න මනුස්සයා වැරැදි කියලා. මේ දවස්වලත් ඇත්ත කතා කරපු නිසා මම ඊර්ෂ්‍යා කරනවා කියලා මඩක් යනවා. මට ඊර්ෂ්‍යා කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. අපි ජීවිතේ මොන දේ කළත් කවදාහරි ඇත්ත එළියට එනවා. මං හිතන්නෙ දැනටමත් ඒක වෙලා ඉවරයි. ගොඩක් අය දන්නවා කවුද බොරු කියන්නෙ කියලා.
අවසාන වශයෙන් ක්ෂේත්රයට එන්න හිතාගෙන ඉන්න අයට සහ සමාජයට මොනවද ඔබට කියන්න තියෙන්නෙ?
මුලින්ම කියන්න ඕනෙ ක්ෂේත්රයට එන්න ගුරුවරයෙක් තෝරගන්න කලින් ඒ ගුරුවරයා ජාත්‍යන්තර වශයෙන් හරි ජාතික වශයෙන් හරි කරලා තිබෙන වැඩ මොනවද කියලා Google එකෙන් හරි විමසලා බලන්න. මේ ක්ෂේත්රයේ ඉතිහාසය ගැන ඉගෙන ගන්න. වයසයි කියලා නොසලකා හරින්නෙ නැතුව ප්‍රවීණයන්ට ගරු කරන්න. මොකද අපිට අද ඇවිත් වැඩ කරන්න ක්ෂේත්රයක් තියෙන්නෙ ඔවුන් නිසා. ඉස්සරහට එන නවකයන් අපට වඩා ගොඩක් දක්ෂයි. ඇත්ත තත්ත්වය කියලාදෙන ගමන් ඔවුන්ට අතහිත දෙන්න. බය නැතුව කොන්ද කෙළින් තියාගෙන ඇත්ත කතා කරන්න. සමාජයක් විධියට අපි මේ වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න නම් ඇත්තට මූණ දෙන්නම වෙනවා.
නදීරා හඳුගල - මව්බිම