මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා. හිතුමතේ ජීවිතේ සත්‍ය කතාවක් නොවන බවට කියැවෙන ආරංචිත් සමඟ ...
මේ දිනවල කා අතරත් කතාබහට ලක්වන ‘හිතුමතේ ජීවිතේ’ චිත්‍රපටය සාර්ථක ලෙස තිරගත වෙනවා.
හිතුමතේ ජීවිතේ සත්‍ය කතාවක් නොවන බවට කියැවෙන ආරංචිත් සමඟ චිත්‍රපටය ගැන වැඩිපුර අවධානයක් යොමු වෙලා තිබෙනවා.
මේ හිතුමතේ ජීවිතේ සිනමාපටයේ අධ්යක්ෂවරයා වන ක්‍රිෂාන්ත මනම්පේරි සති අන්තපුවත්පතකට කල කතා බහ
කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
හිතුමතේ ජීවිතේ චිත්‍රපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙනවා. ඒ වැඩකටයුතු තමයි මේ දිනවල කෙරෙන්නේ.
හිතුමතේ ජීවිතේ නවකතාව තුළින් චිත්‍රපටයක් කරන්න සිතුවේ ඇයි?
උදේනි සමන් කුමාර මහත්මයා මේ කතාව කොටස් වශයෙන් ඉරිදා ‘මව්බිම’ පුවත්පතට ලියුවා. එය අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ඉන් පසුව ඔහු එය නවකතාවක් විධියට පළ කළා. ඔහුගේ හිතුමතේ ජීවිතේ නවකතාව මට ඉන්දික අතුල ප්‍රියන්ත දිනක් ගෙනත් දුන්නා. ඒ හරහා තමයි චිත්‍රපටයක් කරන්න අදහස ආවේ.
නවකතාව සහ චිත්‍රපටය අතර බොහෝ වෙනස්කම් පවතින බවට චෝදනාවක් එල්ල වෙනවා නේද?
නවකතාවම චිත්‍රපටයට ගන්න ඕනෑ කියලා නියමයක් කොහෙවත් නැහැ. බොහෝ නවකතා අසුරෙන් නිර්මාණය වුණු චිත්‍රපටවල වෙනස්කම් තිබෙනවා. මේක නිර්මාණයක්. නිර්මාණයට මූලාශ්‍ර සපයන්නෙ නවකතාවෙන්. නමුත් නවකතාව ඇසුරෙන් නිර්මාණය වූවක් මිසක් ඒකම නොවෙයි. ඇතැම් තැන්වලදී නවකතාවෙ තිබුණු පොඩි චරිත එළියට ගත්තා. ඒක චිත්‍රපටයට ආලෝකයක් ගේන්න කරපු දෙයක්. ඒ විධියට චිත්‍රපටය ඇතුළෙ මම යම් යම් වෙනස්කම් කළා.
නවකතා රචකයාගේ එකඟතාව මතද මේ වැඩේ සිදු වුණේ?
ඔව්. ඔහුගේ අවසර ලබාගෙන ඔහුට විය යුතු යුතුකම් ඉටු කරමින් තමයි අපි මේ කතාව චිත්‍රපටයට ගත්තේ. ඔහු විවෘත හදවතක් තිබෙන හොඳ මනුෂ්‍යයෙක්. මේ කතාව පිළිබඳ විවිධ තොරතුරු සොයා දෙමින් ඔහු මට උපකාර කළා.
ප්‍රියංකර රත්නායක තිරපිටපත වෙනස් කළා කියන කතාව ඇත්තද?
ඉන්දික අතුල ප්‍රියන්ත තමයි මෙහි පිටපත ලිව්වේ. ඉන් පසුව ප්‍රියංකර රත්නායක පිටපතේ යම් යම් තැන් වෙනස් කරමින් යම් සංශෝධනයක් කළා.
මේ චිත්‍රපටයේ දෙවැනි කොටසක් එන්න නියමිතයි කියලා ආරංචියක් තිබෙනවා ඒක ඇත්තද?
හිතුමතේ ජීවිතේ තවත් කොටසක් කරන්න දෙයක් නැහැ. මනුෂ්‍යයෙක් යම් බොරුවක් කාලයක් තිස්සේ කියමින් මවාපාමින් සිටින විට තමන් මේ කරන්නේ බොරුවක්ය කියන එක තමන්ටම අමතක වෙනවා.
තව කෙනෙක්ගේ චරිතයක් ඔහු රඟපානවා. ලංකාවෙ මිනිසුන් ලක්ෂ ගාණක් ඔහුට හිතුමතේ ජීවිතේ කියලා කතා කළා.
ඔහුගේ පින්තූර තාප්පවල ඇන්දා, ඔහුට කවි ලියුවා. මාධ්‍ය ඔහු ගැන කතා කළා. අපි පැවැසුවත් ඔහු කියන්නේ බොරු කියලා ඔහුට කේන්ති යනවා.
ඒ තරමට ඒ චරිතය ඔහුට කාවැදිලා. මේ රංජිත් නයනානන්ද කියන මනුෂ්‍යයා වෙන චරිතයක් ආරූඪ කරගෙන මුළු රටක් රැවටුවා. ඔහු මහා වංචාකාරයෙක් නොවෙයි. ඔහුට යම් මානසික ගැටලුවක් තිබෙනවා වන්නට පුළුවන්. මේ කතාව ගැනත් චිත්‍රපටයක් කරන්න අදහසක් තිබෙනවා. ඒක වෙයිද නොවෙයිද කියන්න බැහැ. අපි බලමු.
ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?
මෙය විශාල මුදලක් වැය කරලා කළ නිර්මාණයක්. විදේශීය සිනමා උළෙලවල් පහක් පමණ නියෝජනය කරන්නත් අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පසුගිය කාලයේ චිත්‍රපට නරඹන්න සතියකට පැමිණිලා තිබුණේ පන් දහසත් හය දහසත් අතර ප්‍රමාණයක්. නමුත් හිතුමතේ ජීවිතේ සතියක් වැනි කාලයකදී ප්‍රේක්ෂකයන් ෙදාළොස් දහසක් පමණ නරඹලා තිබෙන බවට වාර්තා වුණා. ඒ, ඇතැම් විට මේ කතා තේමාව මිනිසුන් අසා තිබෙන, හුරු පුරුදු එකක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේම චිත්‍රපටය නරඹපු ප්‍රේක්ෂකයන් චිත්‍රපටය ගැන ධනාත්මක ප්‍රතිචාර ලබා දෙනවා. චිත්‍රපටයේ වර්ණය සහ ගුණාත්මක බවත් ප්‍රේක්ෂක ප්‍රතිචාරවලට බලපාන්න ඇති කියලා මම විශ්වාස කරනවා.
ප්‍රචාරණ කටයුතු සඳහා ඔබ විශේෂයෙන් සැලකිලිමත් වුණාද?
ඔව්. අපි පෝස්ටර් කැම්පේන් එක කොළඹ අවට සහ ලංකාව පුරාම සිදු කළා. ෆේස්බුක් කැම්පේන් එක ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වුණා. ඒ වගේම කොළඹ නගරය තුළ අත්පත්‍රිකා බෙදාහැරීමක් කළා. ත්‍රිරෝද රථවල ස්ටිකර්ස් ඇලවීම වගේ පෙර සිදු නොකළ කැම්පේන් ටිකක් අලුතෙන් කළා.
විචාරක අදහස් ගැන මොකද සිතෙන්නේ?
සම්මාන හෝ විචාරක අදහස් වෙනුවෙන් නොවෙයි මම මේ චිත්‍රපටය හැදුවේ. මම ඒ චිත්‍රපටය හැදුවේ මේ රටේ මිනිසුන්ට බලන්න. විචාර කියන ඒවා ගැන මම එතරම් අවධානය යොමු කරන්නෙ නැහැ.
සිනමා අධ්යක්ෂණයට ඔබ පිවිසුණු ආකාරය ගැන කෙටියෙන් පැවසුවොත්?
අවුරුදු 18දී පමණ මට සිතුණා සිනමාකාරයෙක් වෙන්න ඕනෑ කියලා. ඒ කාලයේ මම සහ මගේ යහළුවාත් සමඟ ස්ක්‍රිප්ට් ලිව්වා. චිත්‍රපට බලන්න ගියා. ඉන් පසුව මම විශ්විද්‍යාලයට ඇතුළත් වුණා. උපාධිය ලබා ගත්තාට පසුව රැකියාවක් සොයන්න වුණා. ඒ වන විට රටේ යුද්ධයක් තිබුණා. මට සිතුණා ගුවන් හමුදාවට යන්න. ඒ අනුව තමයි මම ගුවන් හමුදා නිලධාරියෙක් වුණේ. අවුරුදු 45දී මම ගුවන් හමුදාවෙන් ඉවත් වුණා. ඉන් පසුව අර නැතිවුණු සිනමාකාරයා මගේ ඔළුවට නැවත ආවා. චිත්‍රපටයක් කරන්න ඕනෑ කියලා සිතුණා. ගුවන් හමුදාවේ සේවය කරන කාලයේත් මම මගේ නම භාවිත කරන්නේ නොමැතිව ටෙලි නාට්‍යය 8ක් නිර්මාණය කරලා තිබුණේ. මේ අතරින් දූවිලි මාලිගා, රේන්ද ගෙදර, සඳ දිය සිත්තම් කියන නිර්මාණවලට සම්මාන ලැබුණා. ඒ කාලයේ ගුවන් හමුදාවේ ලැබෙන නිවාඩු සමඟ එක නාට්‍යයක් කරන්න මට වැඩි කාලයක් ගතවුණා. නමුත් මට ඕනෑ වුණේ සිනමාකාරයෙක් වෙන්න. ඒ නිසා ටෙලිනාට්‍යවලට මගේ නම දාගන්න ඕනෑ වුණේ නැහැ.
චිත්‍රපටයක් ප්‍රදර්ශනය කරන එක අමාරු කාර්යයක් කියලා බොහෝ දෙනෙක් පවසනවා. ඔබට අනුව ඒක ඇත්තද?
මම සිතන විධියට චිත්‍රපටයක් පෙන්වන එකට වඩා චිත්‍රපටයක් හදන එක අමාරුයි. මිනිසුන්ව ආශක්ත කරන්න, පොලඹවන්න හැකියාවක් තිබෙන නිර්මාණ කරන්න බොහෝ අයට බැහැ. ඒකයි ගැටලුව. ඇතැම් අය තමන්ගෙ ගෙදර අයයි අහල පහළ අයයි දාලා චිත්‍රපට හදනවා. චිත්‍රපටය වැදගත්ම දේ තිරපිටපත. මම තිරපිටපතක් පිළිබඳව අවුරුද්දක විතර කාලයක් අධ්‍යයනය කරනවා. හොඳ තිරපිටපතක් සමඟ හොද නළු නිළි වරණයක් කරගත්තොත් චිත්‍රපටයක් පෙන්වන එක අමාරු දෙයක් නොවෙයි. නමුත් අපේ රටේ තිබෙන තත්ත්වයත් සමඟ චිත්‍රපටයක් කරන්න පුළුවන්ද කියන ගැටලුව තිබෙනවා. මේ කර්මාන්තය තුළ සිටින අයම මේ කර්මාන්තය නැතිකරලා තිබෙන්නේ.
රටේ පවතින වත්මන් තත්ත්වය සහ කලාව ගැන ඔබේ අදහස කුමක්ද?
මේ ගැන කතා කරලා හෙම්බත් වෙලා සිටින්නේ. බීරි අලින්ට වීණා වාදනය කරලා තේරුමක් නැහැ. යහපත් කලාවක් අනාගතයේදී බිහිවේවා කියලා ප්‍රාර්ථනයක් සහ බලාපොරොත්තුවක් පමණක් තිබෙනවා.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
දැනට මම, ප්‍රියංකර රත්නායක සහ මහේල හෙට්ටිආරච්චි එකතුවෙන් තිරපිටපතක් සකස් කරමින් තිබෙනවා. ඒක ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා.




