අනුෂ්කි, කනුෂ්කි කිව්වම මේ දිනවල නොදන්න කෙනෙක් නැති තරම්. මල් පිපෙන කාලේ සහ සිත් කියන ටෙලි නාට්‍ය හරහා ඔබ සමීපයට එන මේ සුන්දර නිවුන් සහෝදරිය...
අනුෂ්කි, කනුෂ්කි කිව්වම මේ දිනවල නොදන්න කෙනෙක් නැති තරම්. මල් පිපෙන කාලේ සහ සිත් කියන ටෙලි නාට්‍ය හරහා ඔබ සමීපයට එන මේ සුන්දර නිවුන් සහෝදරියන් දෙදෙනා පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක්වුණා.
සති අන්ත පුවත්පතකට අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර කල කතා බහ මේ.
කොහොමද මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නේ?
පසුගිය සඳුදා අපි දෙන්නා උපන්දිනය සැමරුවා. ඉතින් මේ දිනවල ඉතාම සතුටින් කාලය ගෙවෙනවා.
මේ දිනවල කෙරෙන නිර්මාණ කටයුතු ගැන කතා කළොත්?
සතියේ දවස් පහේම “මල් පිපෙන කාලේ” ටෙලිනාට්‍ය විකාශය වනවා. ඒ වගේම සති අන්තයේ “සිත්” ටෙලිනාට්‍යයත් විකාශය වනවා. මේ ටෙලිනාට්‍ය දෙකේ වැඩකටයුතු සිදු කෙරෙනවා.
ඔබ දෙදෙනා රංගනයට පිවිසුණේ කොහොමද?
මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයට නිවුන් සහෝදරියන් ඕනෑ කියලා දැන්වීමක් පළ කරලා තිබුණා. ඒක අපේ අක්කා දැකලා ඒකට අයැදුම් කරලා තිබුණා. ඉන් පසුව අපි දෙදෙනා තිර පරීක්ෂණයට සම්බන්ධ වුණා. ඒ හරහා තමයි රංගනයට පිවිසුණේ.
ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ලැබුණු සහයෝගය ගැන කතා කළොත්?
ඇත්තටම අපි දෙන්නා මීට පෙර රංගනය හදාරලා නැහැ. අපේ පවුලේ කිසිම කෙනෙක් රංගනයට සම්බන්ධ වෙලත් නැහැ.
අපි පළමු වතාවට රඟපාන්නෙත් ප්‍රධාන චරිත විධියට. ඉතින් ඒක විශාල අභියෝගයක්. අධ්යක්ෂවරයා වන තුෂාර තෙන්නකෝන් මහත්මයා අපිට විශාල සහයෝගයක් වගේම බොහෝ දැනමුතුකම් ලබා දුන්නා.
ශ්‍රීමාලි ෆොන්සේකා අක්කාගෙන් සහ ලක්ෂ්මන් මානවඩු අයියාගෙනුත් විශාල සහයෝගයක් අපිට ලැබුණා.
අපි ක්ෂේත්රයේ ප්රවීණයන්ගේ ගුරුහරුකම් සහ සහයෝගය මැද රංගනයේ “අ” යනු “ආ” යනු ඉගෙන ගනිමින් සිටිනවා.
රංගනය පිළිබඳව හදාරන්න අදහසක් තිබෙනවාද?
ඔව්. අපි විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නේ නර්තනය. ඉතින් නර්තන විෂය තුළත් යම් යම් රංගන කුසලතා වැඩිදියුණු කරනවා. ඊට අමතරව අපි ස්වයං අධ්‍යයනයක නිරත වනවා සහ ඉදිරියේදී විධිමත්ව රංගනය හදාරන්න බලාපොරොත්තු වනවා.
එකම නාළිකාවකට කොටු වීම අපරාධයක් ලෙස සිතෙන්නේ නැද්ද?
මේක අපේ ආරම්භය. මේ ගැන අපි තෘප්තිමත්. මේ නාළිකාව තුළ උපරිම කාලයක් සිටින ගමන් අපේ අධ්‍යාපන කටයුතු සහ රංගන කටයුතු කරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ.
ක්ෂේත්රය තුළ කැපිලි කෙටිලිවලට මුහුණ දීලා නැද්ද?
අපි දෙන්නා සහෝදරියන් වීම සහ අපිට ලැබුණු ටෙලි නාට්‍ය දෙකේම අපි කරන්නේ ප්‍රධාන චරිත. එවිට, අපේ ළමයි කාලයක් තිස්සේ ක්ෂේත්රයේ සිටියා, ඇයි අපේ ළමයින්ට සහාය චරිත දීලා මේ අයට ප්‍රධාන චරිත දුන්නේ? වගේ කතා ක්ෂේත්රයේ සිටින අපේ සමකාලීන නළු නිළියන්ගේ මවුපියන් අහලා තිබෙනවා. පොඩි පොඩි වචන කියලා තිබෙනවා. අපි ඒ දේවල් ගැන ලොකුවට හිතන්නේ නැහැ. ඒවා සාමාන්‍යයි.
ඉදිරියට යන්න බලාපොරොත්තු වන්නේ නර්තන අංශයෙන්ද? රංගන ක්ෂේත්රයෙන්ද?
අපි මේ ක්ෂේත්‍ර දෙකටම කැමැතියි. අපි උපාධිය හදාරන්නේ නර්තනයෙන් නිසා ඒ අංශයෙන් වෘත්තිය කරගෙන යන්නත්, රංගනයේ දිගටම නියැළෙන්නත් බලාපොරොත්තු වනවා. එම නිසා මේ ක්ෂේත්‍ර දෙක තුළම සමබරව කටයුතු කරමින් ඉදිරියට යන එක තමයි අපේ බලාපොරොත්තුව. අපිව රංගන ශිල්පිනියන් ලෙස හෝ නර්තන ශිල්පිනියන් ලෙස ලඝු නොකොට කලාකාරිනියන් ලෙස හඳුන්වනවා නම් අපි කැමතියි.
මේ වනවිට ඔබ දෙදෙනා ප්රේමවන්තියන්ද?
තවම නැහැ.
ඇත්තටම පෙම්වතෙක් සොයා ගැනීමේදී මුදල් කියන සාධකය බලපානවාද?
පෙම්වතෙක් සොයා ගැනීමේදී මුදල් කියන සාධකය බලපාන්නේ නැහැ. නමුත් තමන්ගේ ස්වාමිපුරුෂයා පරිපූර්ණ පුද්ගලයකු විය යුතුයි කියලා කාන්තාවන් බලාපොරොත්තු වනවා.
එක්තරා වැඩසටහනක මම කියන දෙයක් ඇතැම් අය වැරදියට වටහාගෙන තිබෙනවා. මම එතැනදි අදහස් කළේ මුදල් කියන සාධකය ඉස්සරහට දාගෙන පිරිමි ළමයෙක් හොයනවා කියන එක නොවෙයි.
උගත්, අවංක, ස්ථාවරත්වයක් තිබෙන පරිපූර්ණ කෙනෙක් තමයි බලාපොරොත්තු වන්නේ කියන එකයි මම අදහස් කළේ.
ස්ථාවරත්වය කියන කාරණාවේදී මුල් වන්නේ මුදල්. මොකද ඇත්තටම මුදල් නොමැතිව ජීවත් වන්න බැහැනේ.
අපි හැමෝම මුදල් උපයන්නේ ජීවත් වන්න.
විවාහ වන්නේ ජීවිතයට එක පාරයි.
ඉතින් එම තෝරා ගැනීම ජීවිතේ තීරණාත්මකම තෝරා ගැනීමයි.
අපි අමාරුවෙන් මහන්සියෙන් ගොඩනඟාගත් ජීවිතය විවාහයෙන් පසුව විනාශ කර ගන්නවට වඩා නිවැරදි තෝරා ගැනීමක් කරන එක සුදුසුයි.
ඇත්තටම මුදල් කියන දේත් තිබෙන්න ඕනෑ. තමන් දැනට ගෙවන ජීවිතයම හෝ ඊට වඩා අඩියක් ඉදිරියෙන් තිබෙන ජීවිතයක් තමයි විවාහයෙන් පසුව ගත කරන්න ඕනෑ.
මවුපියන් දුක් මහන්සියෙන් දරුවන් හදන්නේ දුක් විඳින්න දෙන්න නොවෙයිනේ. එම නිසා සාර්ථක විවාහයක් කරගත්තොත් මවුපියන් වුණත් සතුටු වනවා.
මේ ප්‍රකාශයත් සමඟ ඔබ දෙදෙනාව සමාජ මාධ්‍ය හරහා විවේචනයට ලක්වුණා. ඒ ගැන මොකද සිතන්නේ?
එක වචනයක් අල්ලගෙන එහෙම පෝස්ට් හදන එක ගැන ඇත්තටම කනගාටුයි.
මම කියපු දේ වැරදි නම් ලංකාවෙ සිටින හැමෝම මට බනින්න ඕනෑ.
නමුත් සුළු පිරිසක් පමණක් එහෙම විවේචනය කරන්නේ. සමාජය හොඳයි. නමුත් කවුරු හරි ඉදිරියට යන විට ඉරිසියා කරන, කකුලෙන් අදින, කාට හරි බනින්නම බලාගෙන සිටින සුළු පිරිසක් සිටිනවා. මිනිසුන් දන්නවා මුදල් වැදගත් කියලා.
නමුත් පිළිගන්න කැමැති නැහැ. කාන්තා පාර්ශ්වයෙන් තමයි වැඩි විවේචන තිබුණේ. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. පිරිමි පාර්ශ්වය ගැන කතා කළොත් විවේචනය කරපු බොහෝ අය තමන්ගේ බිරිය හෝ පෙම්වතිය බලාපොරොත්තු වන ජීවිතය ලබා දෙන්න නොහැකිව හීනමානයකින් සිටින අයයි.
සාර්ථක ජීවිතයක් ගත කරන කිසිම කෙනෙක් ඒ කතාව විවේචනය කරලා තිබුණේ නැහැ.
රඟපාන විට අධ්යක්ෂවරයාට, සහෝදර රංගන ශිල්පීන්ට ඔබ දෙදෙනාව මාරු වෙලා නැද්ද?
අධ්‍යක්ෂවරුන්ට නම් අපිව හඳුනාගන්න පුළුවන්. නමුත් සහෝදර ශිල්පීන්ට ඇතැම් වෙලාවට අපි දෙන්නාව මාරුවනවා.
මල් පිපෙන කාලේ ටෙලිනාට්‍යයේ බන්ටිගේ චරිතය නිරූපණය කරන කසුන් තාරක අයියා දවසක් අපි තුන්දෙනාම සිටින දර්ශනයකදී කනුෂ්කිට කියන්න ඕනෑ දෙබසක් වැරදිලා මට කිව්වා. ඒ වගේ දේවල් වනවා.
සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?
සිනමාවට ආරාධනාවක් ලැබුණා. රූගත කිරීමට දින යොදාගෙන තිබියදීත් රටේ ප්‍රශ්න නිසා එය කල් දමන්නට සිදුවුණා.
ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
ඉදිරියේදී නිර්මාණ කටයුතු කිහිපයක් එන්න තිබෙනවා. ඒ ගැන ඉදිරියේදී කියන්නම්.
පවුලේ විස්තර?
පවුලේ අම්මා අක්කලා හතර දෙනා, මම සහ නංගි සිටිනවා. අපේ තාත්තා අපි දෙන්නාට අවුරුදු එකහමාරක් තරම් කුඩා කාලයේම මියගියා. අක්කලා තුන් දෙනෙක් දැනට විවාහ වෙලා සිටින්නේ.
ඉදිරි බලාපොරොත්තු මොනවාද?
අපි දෙන්නාගෙම කියලා ඩාන්ස් ස්ටූඩියෝ එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වනවා. ඊට අමතරව ව්‍යාපාර පැත්තට නැඹුරු වෙන්නත් අදහසක් තිබෙනවා. ඒ ගැන තවම සිතනවා. දැනට වැඩි අවධානයක් යොමු කරන්නේ අපේ අධ්‍යාපන කටයුතුවලට.
කුශාන්ති අනුරාධා බණ්ඩාර