$type=grid$count=5$meta=0$sn=0$rm=0$show=home

[TV]_$type=carousel$count=24$cols=7$cate=0$space=10$show=home

වසරකට පසු සුනිල කියැවුුම

  ● ජිප්සීස් සංගීතයේ සතුට 1990 මුල අපි 88/89 මහ භීෂණයේ දී සමූල ඝාතනය වූ ගම්මාන හා මළවුන්ගේ තොරතුරු රැස් කරමින් සිටියෙමු. අපගේ එක් ගමනාන්තයක්...

 


● ජිප්සීස් සංගීතයේ සතුට

1990 මුල අපි 88/89 මහ භීෂණයේ දී සමූල ඝාතනය වූ ගම්මාන හා මළවුන්ගේ තොරතුරු රැස් කරමින් සිටියෙමු. අපගේ එක් ගමනාන්තයක් වූයේ හම්බන්තොට දිසාව තුළ පිහිටි අඟුණකොලපැලැස්සය. 

මේ ගමනේ මගේ ගමන් සගයා වූයේ එකල නීති ශිෂ්‍යයෙකුව සිටි මංජුල පතිරාජය. පුරාණ ගම්කාරයන් ද ජානපදිකයන් ද සමසේ පදිංව සිටි එහි විශේෂත්වයක් තිබුණේය. වයස 18 – 29 අතරේ තරුණයෝ මේ පෑලැස්සේ කොලනිවල පෙනෙනට නොසිටියහ. ඔවුන්ගෙන් කොටසක් භීෂණය විසින් සදහටම අතුරුදන් කර තිබුණේය. 

සෙස්සන් ගම්බිම් දමා හිස්ලූ ලූ අත පලා ගොසින් ය. කොළපාට දේශපාලන කොඩි දමා තිබූ අප ගොඩ වූ එක් ගම්භාරයෙකු ගේ (ජන ප්‍රධානියෙක්) නිවසේ දරුවන් 8 දෙනෙක් සිටි බව කියවුණේ ය. දියණියන් හතරක් සහ පුතුන් හතර දෙනෙක් වූ මේ දරුවන් අතරින් පිරිමි දරුවෝ දෙදෙනෙක් භීෂණයෙන් අතුරුදන් වූ බව අම්මා කීවාය. පෙනෙන්නට සිටියේ දියණියන් හතරදෙනා පමණි‘ අපි ඉතිරි වූ පුතුන් දෙදෙනා ගැන විමසුවෙමු.

“ඒ දෙන්න ඊයේ අඟුණකොලපැලැස්සේ සංගීතය බලන්න ගිහිල්ල ඇවිල්ල මහන්සියට නිදි. දෙන්නම තාම ඉස්කෝලෙ යනව. පොඩි වයස. ඊයේ සංගීතෙට ගිහිල්ල හෝඳටෝම නටල කකුලුත් කැක්කුමයි කිව්ව. ඇහැ ඇරවන්න ඕන ද?”

“නෑ.. ඕන නෑ. නිකමට ඇහුවේ.”

අපේ මතකයට ආවේ පාර දිගේ තිබූ සංගීතය දැනුම්දෙන පෝස්ටර ය. 

ජිප්සීස්ලා සහභාගි වූ එම සංගීතය කෙරුණේ අඟුණකොලපැලැස්ස පොදු ක්‍රීඩා පිටියේ ය. 

අප සොයමින් සිටි ඝාතනයට ලක් වූ තරුණයන් කොටසකගේ සමූහ මිනීවළ මෙන්ම කොටසකගේ ටයර් සෑ ඉදි වී තිබුණේ ද මේ පිටියේ ය. 

අපේ කතාව සිදු කෙරෙන අතරේ ගෘහ මූලික මාතුපාල නම් වූ ගම්බාරයා ගෙට ගොඩ වුණේය. ආගිය කතාවෙන් පසු ඔහුගේ ප්‍රධාන ප්‍රශ්නය වූයේ අපේ දහවල් ආහාරයයි. 

ඔහු අපට දවල් ආහාරය සූදානම් කරන්නට බිරිඳට යෝජනා කර ස්ථිර කර ගත්තේ ය. අනතුරුව අපේ කතාවට එකතු වුණේ ය.

“අද කොල්ලො බල්ලො එකෙක්වත් කුඹුරු වැඩට ආවේ නෑ. ඊයේ අඟුණකොලේ සංගීතයට ගිහිල්ල. මුන් කිසිම අණක්ගුණක් නැතුව සංගීතෙයට ගිහිල්ල අර මහ මිනීවළ උඩ නටල. ගඩොල කපන්නහේ එතන දැන් මඩගොඩක්. අනික් හරියේ තිබුණු ටයර් කම්බි සංගීතෙට කලින් දොහේ අයින් කරල. මුං එතන මිනී අලුගොඩ දූවිලි වෙනකල් නටල. ඔය අපේ ගෙදර ඉතුරුවෙල ඉන්න නාම්බො දෙන්නත් ඊයේ නටන්න ගියේ. මගේ හිතේ මහන්සියට තවම නිදි.”

ගම්බාරේ මේවා කියා ගෙන ගියේ කම්පාවකින් නොවේ. නිවේදකයෙකු ප්‍රවෘත්ති කියන්නා වගේ ය. ඔහු මේ වාර්තාවට සබැඳියාවක් නැතිනම් ගෙදර කොළ කොඩි වැටුනේ කෙසේ ද? අපට ප්‍රශ්නය සඟවා ගැනීමට කුතුහලය ඉඩ නොදුන්නේ ය.

“නෑනේ මහත්තය මැරුණ එවුන් දෙන්න මැරුණ. උන්ට ආයේ පණ එන එකක් ය. අපි කියල නෙවෙයි. ඉන්දියන් හමුදාවක් එලවල රට බේරගන්න කියලයි ඕවට ගියේ. අපි මක්කැයි කරන්නේ? මේ ගේ දොරකඩ කොළ කොඩි නොදැම්මොත් ඉතිරිවෙලා ඉන්න එවුන් හය දෙනාගේ ජීවිතේ බේරගන්න බෑ. ඔහේ හිතන්නේ ළමයි ආරස්සා කරන්න බැරි පුංචිකාලේ කියල ද? නෑ. කරදන්ඩ උස ගියාම. උන් අපි කියන දේ නාහ විප්ලව කරන්න යනව. රටවල් බේරගන්න යනව.”


* සරල ප්‍රබෝධයේ වීරයා ජිප්සීස් සුනිල්

අප එතෙක් නොදැන සිටි ජීවිතේ ආරක්ෂා කිරීමේ උපා කීපයක්ම එදා මාතුපාල ගම්බාරයා කියා දුන්නේ ය. ඔහු පුරුදු පුහුණු කරමින් සිටියේ අහිමිවීමේ අතීතය හැකි ඉක්මනින් අමතක කිරීමය. 

ඒ වන විට භීෂණ සමය අමතක කිරීමට ප්‍රේමදාස ආණ්ඩුව රටේ හැමතැනම සංගීත සංදර්ශන පවත්වමින් සිටියේ ය. භීෂණය නමැති අන්ධකාර සමයේ ආදායමක් නැතිව සිටි කලාකාරයෝ රොද බැඳගෙන මේ ප්‍රසංගවලට සහභාගි වූහ. 

රජයේ අරමුදලින් ගෙවීම් ලැබූ කලාකරුවෝ මේ ප්‍රසංගවල දී තරුණ දරුවන් අහිමිවීමෙන් දුකට පත් දෙමාපියන්” සහෝදර සහෝදරියන්” දූ පුතුන් සනසමින් නටවමින් විනෝද වූහ. 

ඉහත කී අඟුණකොලේ දී ජිප්සීස්ලා පැවැත්වූ සංගීත ප්‍රසංගය ද එකල විනෝද මේලා සමූහයේ එකකි.


තෙමුහුන් මොරටුවේ සංගීතය

මොරටුව පශ්චාත් යටත් විජිත ලංකාවේ ඉතිරි වූ එහි උරුමය සහිත වර්ණවත්ම සංස්කෘතික නගරයයි. 

එහි පවතින තනි සිංහල” කේරල හා යුරෝපීය පෙළපත් නාමයන් තරමටම එහි සංස්කෘතික විවිධත්වයට කදිමට තහවුරු කරයි. 

මේ දෙමුහුන් තෙමුහුන් ජන පරම්පරා සිංහල සංගීතයට විවිධ වර්ණයන් එකතු කළේ ය. වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරාගේ පටන් උස්වත්ත

ලියනගේ අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා දක්වා වූ 20 සියවසේ සිංහල සංගීතයේ දැවැන්තයන් බොහොමයක් පැමිණියේ මොරටු භූමියෙන් ය. 

මොරටුවෙන් පැමිණි අමරදේව “පිංකෙත හෙල රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා වේවා” කියද්දී මොරටුවෙන්ම පැමිණි සුනිල් පෙරේරා “මේ මොන පිංකෙතක් ද” මේකේ යළි උපදින්න්ට සිතන එකා මොන මෝඩයෙක් දැ” යි සිනා සුනේ ය. 

මොරටුවෙන් පැමිණි නිහාල් නෙල්සන් “එපා එපා මස් කන්නට කිරි අම්මාගේ” කියද්දී සුනිල් පෙරේරා “මේකේ මොන බුද්ධාගමක් ද? බුදු පිළිම විතරයි” කියා සිනා සුනේ ය.

මේ 18 වෙනි සියවසේ ලන්දේසි පාලනය තුළ දී කුරුඳු කර්මාන්තකරුවන් (මහබද්දේ) ළඟ තිබූ ධනවත්කම ඉංග්‍රීසි යුගයේ දී වෙනත් කර්මාන්ත ඔස්සේ මොරටුව බඳු නගරවලට මාරු විය. 

අරක්කු රේන්දකරුවන්” වැවිලිකරුවන් හා මිනිරන් පතල්කරුවන් වශයෙන් මතු වූ මොරටුවේ ජෙරමියෙස් සොයිසලා” ලිඳමුලගේ පීරිස්ලා වැනි නව ව්‍යාපාරික පැලැන්තිය සතු වූ ආර්ථික සමෘද්ධියේ ආනුභාවය මොරටු සමාජයට දැනෙන්නට ඇත. පෘතුගීසි සංස්කෘතික යටත් විජිතවාදයේ උරුමයක් වූ බයිලාව දකුණු ඉන්දියාවේ

බැංග්ලෝර් බඳු පළාතක මුල් බැස ගනිද්දී ලංකාවේ මුල් බැස ගත්තේ මොරටුවේ ය. මොරටුව ලංකාවටම බයිලා නමින් නව සංස්කෘතික ව්‍යාපාරයක් හඳුන්වාදෙන්නේ මේ මොරටු ආර්ථික පදනම ඔස්සේ ය. මොරටුවේ ව්‍යාපාරික පැලැන්තිය රට පුරා පැතිරෙද්දී එහි සේවයට ගිය මොරටු පුත්තු එහි සංස්කෘතියද රට වටේම බෙදූහ. 

කඳුකරයටද වියළි කලාපයට ද බයිලා ගායනය හා විඳීම පැතිරෙන්නේ මේ ඔස්සේ ය. නමුත් මුස්ලිම්වරු” හෝ උතුරු නැගෙනහිර දෙමළ ජනයා තබා වතුකරයේ දෙමළ ජනයාවත් මේ තෙමුහුන් බයිලා සංගීතය බාර නොගත් හ. එය සිංහල ජන කණ්ඩායමට සීමා විය.


නාගරික ජනකවි වූ බයිලාව

ඉන්දියාවේ දී බයිලාවට හින්දුස්ථානි හා කර්නාටක සංගීතයේ කරකර නොගියත් ලංකාවේ ජනප්‍රිය සංගීතයේ ප්‍රධාන මූලයක් වූයේ බයිලාවය. 

එය කොතෙක් සිංහල සමාජයේ පැතිරුණා ද කිවහොත් බයිලාව අද අපට පෙනෙන්නේ නූතන නාගරික ජනකවි සම්ප්‍රදායක් වගේ ය. 

තවමත් සිංහල ජන සමාජය තුළ එතරම්ම වාද බයිලා බෙහෙවින්ම සමාන වන්නේ හිටුවන කවි මඬුවලට ය. මේ නිසා බයිලා ගායනයේ ජනප්‍රිය වීරයන් පහල වූයේ මොරටුවේ ය. බයිලා ගායනාවලට ගැළපෙන නැටුම් ආවේත් මොරටුවෙන් ය. 

වෙළෙඳ දැන්වීම් කියවීමට සීමාවී තිබූ යුගයක ජිප්සීස්වරු මේ බයිලාව ඉතා සාර්ථකව වෙළෙඳ දැන්වීම් කලාව තුළ තහවුරු කළහ. 

මේ නිසා බයිලා චක්‍රවර්ති නාමය ඇම්. ඇස්. ප්‍රනාන්දුට හිමිවෙද්දී බයිලා රජ පදවිය සුනිල් පෙරේරාට හිමි විය. ක්ලැරන්ස් විජේවර්ධන බඳු නොසිඳෙන සංගීත නිර්මාණ ගඟුලක් ජීප්සීස්ලාට පෙර යුගයේ ගලා ගිය නිම්නය ඔස්සේ නවීන කණ්ඩායම් සංගීතකරුවන්ගේ ගී වැඩි බාධකයක් නොමැතිව ගලා ගියේ ය.

මේ පසුබිම තුළ පිහිටු වූ විට උස්වත්ත ලියනගේ අයිවර් සිල්වෙස්ටර් සුනිල් පෙරේරා මේ රටේ සිංහල විනෝදාස්වාද කර්මාන්තයේ සිටි දක්ෂතම ව්‍යාපාරිකයා ය. 

ඔහු ප්‍රසාංගික කර්මාන්තයේ මෙන්ම වෙළෙඳ ප්‍රචාරක කර්මාන්තයේ ද වැඩිම ඉල්ලුමක් තිබූ ව්‍යාපාරිකයා ය. ඔහු පියා ආරම්භ කළ ජිප්සීස් සංගීත කණ්ඩායම පවුලේ සාමාජීකයන් සමඟ එක් වී ඉහළටම ඔසවා තැබුවේ ය. 

ජිප්සීස් ප්‍රසංග පැවැත්වීම වඩාත් දැරිය හැකි වූයේ විදේශගත සිංහලයන් අතරේ ය. පිටුවහලේ වෙසෙන සිංහලයන් බහුලව පදිංචි සිටින යුරෝපයේ” බි්‍රතාන්‍යයේ හා උතුරු ඇමෙරිකාවේ ජිපීසීස් ප්‍රසංග වසර පුරාම පැවැත් වුණේ ය. 

තමන් ජීවත්වන රටවල සංස්කෘතියට නතු නොවූ එසේත් නැතිනම් එකතු වීමට නොහැකි වූ මේ සිංහලයන්ගේ වැඩිහිටි පරම්පරාව කාබී නටන්නට තෝරා ගත්තේ ජිප්සීස් ගීතය. නැතිනම් ඔවුන්ගේ සංගීත ප්‍රසංගයන් ය.


සුනිල් පෙරේරා හා දේශපාලන කලාව

ජිප්සීස් සංගීත කණ්ඩායම පසුගිය සියවසේ හත්වෙන දශකයේ රසික අවධානය ලබා ගනිමින් මතුවෙමින් සිටියේ ය. ඔවුන් රටේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක හැටියට මතුවෙන්නේ එම සියවසේ අටවන දශකයේ පටන් ය. 

මේ වනාහි අතිරික්ත නිෂ්පාදන යුගයයි. දෙවන ලෝක යුද්ධයෙන් බරපතළ ලෙස බිඳවැටී තිබූ සංවර්ධිත කාර්මික රටවල නිෂ්පාදනයන් යළි වර්ධනය වීමට දශක හතරකට කාලයක් ගත්තේ ය. යුද්ධයෙන් බිඳ වැටුණු ආර්ථිකයන් යළි හිස ඔසවද්දී එම රටවල අතිරික්ත නිෂ්පාදනයක් ඇති වුණේ ය. 

ඒ වෙනුවෙන් වෙළෙඳපොළ නිර්මාණය වූයේ පැරණි යුරෝපීය යටත් විජිත තුළය. මේ පැරණි යටත් විජිතවලට අතිරික්ත නිෂ්පාදන අලෙවි කිරීමටනම් එවායේ එතෙක් පැවති වැසූ ආර්ථිකයන් විවෘත කළ යුතු විය. 

රේගන් – තැචර්වාදය මතුවන්නේ මේ අතිරික්ත අලෙවි කිරීම වෙනුවෙනි. “ආධාර” යනුවෙන් වෙස්ගන්වා ණය හැටියට මේ අතිරික්ත නිෂ්පාදන තුන්වන ලෝකයට පැටවුනේ ය. ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව 1977 දී විවෘත ආර්ථිකයක් හඳුන්වාදෙන්නේ මේ රේගන්- තැචර් දේශපාලන ආර්ථිකවාදයට ලංකාව ගැට ගැසීමටය. 

එතැන් පටන් ලංකාව බඳු රටවල දේශපාලන වීරයන් නිර්මාණය වූයේ “ආධාර” නමින් හැඳින්වෙන ණය ලබා ගැනීමේ වීරත්වය මතය.

“විදේශීය ආධාර” නිසා පිම්මක ආකාරයෙන් අතිරික්ත නිෂ්පාදනයේ තාක්ෂණික උපකරණ ලංකාවට ළඟාවිය. වෙනදා ගමක එක ගෙදරක තිබූ ‘වයර්ලස්. රේඩියෝව වෙනුවට පළමුව ‘ට්‍රාන්සිස්ටර්. රේඩියෝද” ‘ටුයින්වන්” ත්‍රීන්වන් රේඩියෝව ඇති කැසට් රැකෝඩර ද” ටෙලිවිෂනය ද ගෙන්ගෙට මිලදී ගැණුනේ ය. 

මේවායේ වාදනය කරන්නට ගීත කැසට්පට නිෂ්පාදනය හා අලෙවිය ලාභදායි කර්මාන්තයක් විය. මේ කැසට්පටවලට ගීත ගැයීම හා නිෂ්පාදනය පැරණි ඒක සාටකයක් බඳු ගුවන් විදුලිය සිටි “ප්‍රමිතිගත” ගායකයන් හා සංගිතකාරයන් අතරට අලුත් මුහුණු දවසින් දවස එකතුවිය. 

රත්මලානේ ජිප්ස්සීස්වරු සිංහල ප්‍රාසාංගික කලාවේ ජයකෙහෙලි නංවන්නේ මේ “විදේශ ආධාර” නමැති ආර්ථික ගංවතුරේ ඇන්ජින් බෝට්ටුවක පැදයමින් ය. 

වෙනදා තනි ගුවන්විදුලියට සීමාවී සිටි රසිකයන් පරදමින් නව රසිකයන් ලක්ෂ ගණනින් මේ ජනප්‍රිය සංස්කෘතියට එකතුවන්නට විය. ඔවුහු මීටරයක් කරකවා තරංග සොයාගෙන රේඩියෝ ඇසීම වෙනුවට තමන් කැමති ගී කැසට් මිලදී ගෙන ඇසූහ. මැදපෙරදිග රැකියා වෙළෙඳපොළ මේ මිලදී ගැනීමේ හයියට වැඩි උත්තේජනයක් ගෙනාවේ ය.


● 1983 සංස්කෘතික විප්ලවය

පැරණි පරම්පාරාවේ සංස්කෘතික වීරයෙකු වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මේ පෙරළිය එද්දීම ‘ධර්මිෂ්ඨ සමාජය. රචනා කරමින් එහි බලවත්ම විවේචකයා බවට පත්විය. ඔහු මේ නව රසික පරම්පරාව හැඳින්වූයේ ‘මුග්ධ ප්‍රබෝධකයන්. හැටියට ය. 

එහෙත් ඔහුගේ මේ ශාස්ත්‍රීය විවේචනවලට පිළිතුරු ලැබුණේ වචනවලින් නොවේ. 1983 මුල් භාගයේ සිංහල බල මණ්ඩලයේ ඇරයුමෙන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලන ශාලාවේ පැවති ‘ධර්මිෂ්ඨ සමාජය. 

ගැන දේශනයක් කිරීමට පැමිණි මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍රට එජාප මැරයෝ කතාව පටන් ගනිද්දීම ඔහුගේ වයසද නොසලකා පහර දුන්හ. 

අනතුරුව ඔහු වේදිකාවෙන් ඇදගෙන ගොස් කුණු කාණුවකට දැමූහ. ඔහු සමඟ හවුලට එජාප මැරයන්ගෙන් පහර කෑවේ අනෙකෙකු නොවේ. යහපාලනයේ අධ්‍යාත්මික පීතෲවරයා වූ මාදුළුවාවේ සෝභිත හිමියන් ය.


අපගේ කල්පනාව ලංකාවේ ජනප්‍රිය සංස්කෘතික විප්ලවය පටන් ගත්තේ මේ “රයිස්ටෑග්” ප්‍රහාරයත් සමගය. 1956 සිංහල ප්‍රබුද්ධ සංස්කෘතික විප්ලවයේ වීරයා වූ සරච්චන්ද්‍ර “පීචං සංස්කෘතිය” නමින් හැඳින්වූ නව ජනප්‍රිය සංස්කෘතිය පෙරළා දමා 83 සංස්කෘතිය පෙරට එන්නේ මෙතැන් පටන් ය. මීට සමගාමීව වසර හතකට මැතිවරණ සිතියම අකුලා දමමින් ඡන්ද කල් දැමුනේ ය. 

කළු ජූලියත් පසු පසුපසින් ඊළාම් යුද්ධය ආවේ ය. මරණ බියෙන් තැතිගත් සමාජයට ප්‍රමෝදය හා ප්‍රබෝධය ගෙන ආවේ යුද්ධය අස්සේ කෙරුණු ප්‍රසංග කර්මාන්තයෙනි. එහි ප්‍රමුඛයා කොළපාට ලේ තිබූ ජීප්සීස් ය. මේ නිසා ජිප්සීස්වරු ස්වකීය කැසට් පටවල ‘ප්‍රබුද්ධයන්ට අඟුණවිය හැකිය. යනුවෙන් ලේබලයක් ඇලවීමට මේ නිසා අමතක නොකළහ.


ජයවර්ධන – ප්‍රේමදාස පාලනය තැනූ ‘ලේ වැකි ප්‍රජාතන්ත්‍රවාදයෙන් බියටපත් ජනයා” විශේෂයෙන්ම තරුණ පරම්පරාව සැනසුවේ ‘ගම් උදා. මහපොළ හා අනෙකුත් දේශපාලන සැණකෙලිවල පැවැත් වූ ජනප්‍රිය සංගීත ප්‍රසංගවලිනි. මේ දේශපාලන ප්‍රසංගවල එකල රටේ ජනප්‍රියම විකට නළුවා වූ නිහාල් සිල්වා” ජනප්‍රියම ගායකයා වූ එච්. ආර්. ජෝතිපාල” ජනප්‍රියම බයිලා ගායකයා වූ ඇම්. ඇස්. ප්‍රනාන්දු ද ජනප්‍රියම සංගීත කණ්ඩායම වූ ජීප්සීවරුන් ද කැපී පෙනෙන සංස්කෘතික අංගයෝ වූහ. 

පාලක දේශපාලකයන් කතා පැවැත්තුවේ මේ ජනප්‍රිය කලාකාරයන්ගේ ප්‍රාසාංගික අංගෝපාංග පැවැත්වෙන අතරවාරයේ ය. මේ නව ජනප්‍රිය ගී පවුල් අවුල්” පුද්ගල දුර්වලතා හා සරල දේශපාලන උපහාසය මත පදනම් වී තිබුණේ ය. 

එහි තනු ජාත්‍යාන්තර ජනප්‍රියත්වයක් හිමිකරගත් තනු මත පදනම් වුණේ ය. මේ නවමු රස අත්දැකීම ‘ට්‍රාන්සිස්ටර් රසික පරම්පරාවේ පටන් ඩිජිටල් රසික පරම්පරාව දක්වා වූ පරම්පරා කිපයක්ම ප්‍රබෝධවත් කෙරුණේ ය. අපට ඉහත කී ‘අඟුණකොලපැලැස්ස. අත් දකීම ලැබෙන්නේ මේ යුගයේ ය.


“හිත හොඳ කලා පපුව”

සෙසු සංගීතකාරයන්” ගායකයන් ස්වකීය රසිකයන්ගේ සිත් රිදවීමට බියවෙද්දී සුනිල් පෙරේරා ඒ ගැන දෙවිටක් නොසිතුවේ ය.

ඔහුම වරක් කී පරිදි ලොව කොතැනක දීත් “අපේ රටේ සිංහල කලාකාරයන් හඳුනාගත්තේ ලංකාවෙන් ගිය සිංහලයන්” පමණි‘ ඔහු ඒ සිංහල රසික බහුතරය බෞද්ධයන් වූවත් “ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා ! වාද නැති බේද නැති ලස්සන ලොව හෙට අපට උදාවේවා!” යි ගායනා කළේ කිතුනු සංකේතයක් වූ කුරුසයක තඩි අනුරුවක් බෙල්ලේ දමා එලියට පේන්න එල්ලා ගෙනය. එයින්

ඔහුගේ ගීත ඇසූ බෞද්ධයන්ට හෝ මේරටේ වෙසෙන හින්දු මුස්ලිම්වරුන්ට තමාගේ බෙල්ලේ එල්ලෙන කුරුසය ගැන මොනවා සිතේ දැයි සැලකිල්ලක් දැක්වූයේ නැත. 

අඩුම තරමින් අදහන ආගම් හා නිකාය බෙදීම් අනුව බෙදී සිටින සිංහලයා ඔහු ප්‍රසංගය තුළ ආගම ප්‍රදර්ශනය කිරීම ගැන සිතෙන දෙයට සැලකිල්ලක් නොදැක්වුවත් රටේ සෙසු ජාතීන්ට හා ආගමිකයන්ට ජනප්‍රිය සංස්කෘතික චරිතයක් “එකම දැයේ දූදරුවන් වේවා” ගීතයේ ඉගැන්වීමට කුරුසය හරස්වන ආකාරය ගැන ඔහු නොසිතුවේ ය. 

සමහර විට තමන්ගේ ප්‍රාසාංගික හැකියාවෙන් සතුටුවන රසිකයා විනෝදය ලබද්දී මේ ගැන නොසිතනු ඇතැයි සුනිල් පෙරේරා සිතන්නට ඇත. මේ නිසා ඔහුට රසිකයන් තරමටම සතුරන්ද සිංහල රසික ලෝකය තුළ නිර්මාණය විය.

කොවිඩ් මහ වසංගතය එද්දීම වසර 40 පුරා විවෘත ආර්ථිකය විවිධ මුහුණුවරින් පවත්වාගෙන යෑමට ගත් “ආධාර” නම් වූ විදේශ ණය හා පොලී ගෙවා ගැනීමට ලංකාව අසමත් වෙමින් තිබුණේ ය. පණ ගසමින් සිටි එම ආර්ථිකයේ බොටුව මිරිකා දමන්නට ගත්තේ කොවිඩ් මාරයා ය. 

අපි යළිත් 1977 පෙර තිබූ යුගයට එනම් සංවෘත ආර්ථිකයකට හෙවත් වැසූ ආර්ථිකයකට වේගයෙන් ගමන් කරමින් සිටිමු. පැරණි ආර්ථිකය නිර්මාණය කළ සංස්කෘතියද එහි නායකයන්ට ද කර්මාන්තයට ද මේ නව තතු යටතේ උදාවෙමින් තිබෙන්නේ අභාග්‍ය සම්පන්න කාලයකි. තවදුරටත් එළිමහනේ සංගීත ප්‍රසංග නැත.

විදේශගත සිංහලයන් පිනවීමේ චාරිකා නැත. කැසට් හෝ සංයුක්ත තැටි වෙළෙඳාමක් නැත. ඒ වෙනුවට මේ කර්මන්තයේ නියැළෙන්නෝ රාජ්‍ය නඩත්තුවක් ඉල්ලීමට තල්ලුවෙමින් සිටින්නේ ය. මේ විවෘත කලා සංස්කෘතියේ ඔටුණු නොපලන් රජු ජිප්සීස් නායක සුනිල් පෙරේරා ය. 

ඔහු හාකොස් කෘමිනාෂකයේ පටන් ටෙලිවිෂන් දක්වා වූ වෙළෙඳ භාණ්ඩ අලෙවියේ ජනප්‍රිය වෙළෙඳ නියෝජිතයා ය. අඟුණකොලපැලැස්සේ පියදාසගේ පටන් කැළිෆෝනියාවේ වෙසෙන නවීන් මෙන්ඩිස්ලාට විනෝදය සපයන්නා ය. 

හිතේ හැටියට නටන්නට නිර්ලෝභීව සිංදු තෙල් බෙදූ වීරයා ය. මේ සියල්ලන්ටම අවාසනාවන්ත කාලයක් ගෙනෙමින් විවෘත ආර්ථික බුබුල බිඳී යද්දී සුනිල් පෙරේරා අප තනිකර අකාලයේ සමුගන්නේ ය. ඔහු පියවිය නොහැකි හිඩසක් ඉතිරි කරන්නේ ය. කොවිඩ් මරණයන්හි අඳෝනාවන් පරයා නැඟෙන සිංහල රසික විලාපයක් අපට දස අතින්ම ඇසෙන්නේ මේ නිසාය.


වසර 2015 දී ජිප්සීස් නායක සුනිල් පෙරේරා පාරම්පරික එජාප මතවාදය අමතක කර ජවිපෙ දේශපාලනයට එකතු වුණේ ය. 

මේ දේශපාලන පෙරළියේ දී සිදු වූයේ ජවිපේ මතවාදයට ජිප්සීස් නායකයා ළඟාවීමට වඩා ජිප්සීස් මතවාදයට ජවිපේ පල්ලං බැසීමය. පෙර කී ‘1990 මුල අඟුණකොලපැලැස්සේ පිට්ටනියේ නැටූ මල්ලිලා අනුගමනය කරන්නට එනම් ජිප්සීස් බයිලාවලට නටන්නට වර්තමාන ජවිපෙ නායකයන්ට අවුරුදු 25 ක් ම ඕනෑ වුණේ ය. 

ඒ අර්ථයෙන් ගත් විට අඟුණකොලේ මල්ලිලා හා ජිප්සීස් අයියලා ජවිපෙ නායකයන්ට වඩා බෙහෙවින්ම අවංකය. ජවිපෙ එක් අතකින් වෙළෙඳපොළ ආර්ථිකයට විරුද්ධ වෙද්දී තවත් අතකින් පක්ෂවෙයි. එහෙත් ජිප්සීලා මුළුමනින්ම වෙළෙඳපොළ ආර්ථිකයේ බැතිමතුන් වූහ. මේ නිසා කවර හෝ අතයට ගනුදෙනුවකින් රටේ බදු ගෙවීම පැහැරහරින ව්‍යාපාරිකයන් මෙන් නොව සුනිල් පෙරේරා තමන්ට ගෙවීමට නියමිත රජයේ බදු වෙලාවට ගෙවන ව්‍යාපාරික මහත්මයෙක් හැටියට බදු නිලධාරීන් අතර ප්‍රකටය. 

රටේ රේඩියෝ හා රූපවාහිනි චැනල බොහොමයක් නිර්මාණකරුවන්ට හිමි කතෘභාග නොගෙවීම ගැන ඇති චෝදනා බහුලය. සුනිල් පෙරේරා තමා ගයන ගීවල රචකයන්ට හා සංගීත නිර්මාණකරුවන්ට නිසි පරිදි ගෙවූ බව ඔහුගේ මරණය වෙනුවෙන් මතක සටහනක් ලියූ ඩබ්. ජයසිරි සඳහන් කර තිබුණි. මේවා ගීත කර්මාන්තයේ මෙනම ප්‍රාසාංගික කර්මාන්තයට දුර්ලභව පවතින ගුණාංගය. ව්‍යාපාරික පවුලකින් පැවතීම” ක්‍රිස්තියානි ආගමික පාසල්වල අධ්‍යාපනය හා ස්වයං අභිමානය සුනිල් පෙරේරාට මේ ප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට උපකාර කරන්නට ඇත.


නන්දන වීරරත්න

[MUSIC]_$type=carousel$count=4$cols=4$cate=0

[ON LOCATION]_$type=left$va=0$count=3

[BOLLYWOOD]_$type=right$va=0$count=3

[CHIT CHAT]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

[FRESHERS]_$type=carousel$count=5$cols=4$cate=0$h=360

Logo

[GOSSIP]_$type=three$count=3$h=360$rm=hide$author=hide$comment=hide$date=hide

[STAR TALKS]_$type=three$count=3$h=360$author=hide$comment=hide$date=hide

Name

accident,1,BestCovers,1,bollwood,7,Bollywood,31,ChitChat,18,Cinema,28,Cinematic,9,Dance,6,Fashion,18,Featured,1,Freshers,5,Gossip,61,HotPoses,22,Interview,24,MoviePremieres,13,Music,23,News,40,on location,2,Photos,15,StarTalks,18,Trending,6,TV,51,Video,12,
ltr
item
Star Gossip - BottomLine News: වසරකට පසු සුනිල කියැවුුම
වසරකට පසු සුනිල කියැවුුම
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAn3ulQQ-HUgJzn3VXS770o_wgMZ06FDmY_sGGkMrf5EYVzOLYn0fDRcrvfPLKOU-YhkmbQzkPWoepg3f3DIbS-P7SCX2RYTHphwcanLj3u3pQyagBHitBqZCMM7lagl6vZciHvaDuUxkKUM7SGWSKYjdAuDPOOc9t5mMp7NJp5uTOeww_VW39RNN2/s16000/sunil%20perera.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjAn3ulQQ-HUgJzn3VXS770o_wgMZ06FDmY_sGGkMrf5EYVzOLYn0fDRcrvfPLKOU-YhkmbQzkPWoepg3f3DIbS-P7SCX2RYTHphwcanLj3u3pQyagBHitBqZCMM7lagl6vZciHvaDuUxkKUM7SGWSKYjdAuDPOOc9t5mMp7NJp5uTOeww_VW39RNN2/s72-c/sunil%20perera.jpg
Star Gossip - BottomLine News
https://stargossip.bottomline.asia/2022/09/15-sunilperera-remember-article.html
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/
https://stargossip.bottomline.asia/2022/09/15-sunilperera-remember-article.html
true
3404992472536326279
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL View Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU CATEGORY ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content