දයාන් විතාරණ .. නම කිව්ව ගමන් අපිට දැනෙන සොදුරු මිනිසෙක්. දක්ෂ ගායකයෙක්,නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙක්. ඔහුගේ ගීත අපේරටේ ගී සහෘදයින් අතර අත...
දයාන් විතාරණ ..
නම කිව්ව ගමන් අපිට දැනෙන සොදුරු මිනිසෙක්.
දක්ෂ ගායකයෙක්,නිර්මාණශීලී ඡායාරූප ශිල්පියෙක්.
ඔහුගේ ගීත අපේරටේ ගී සහෘදයින් අතර අතිශය ජනප්‍රියයි.
ඔහුගේ අළුත්ම ගීතය ගැන ඔහු මෙහෙම සටහනක් යොදලා තිබුණා.
ඒ් සටහන මෙන්න.
ඔවුන්ගේ මුල් පද රචනාව සහ මුල්ම තනු නිර්මාණය ගැයීමට ලැබීම භාග්‍යයක්
කැන්බරා නගරයේ පදිංචිව සිටින උදාන බණ්ඩාර විසින් මා හට ලියා දුන් ඔහුගේ කුළුඳුල් ගීතය වන ''දිලිසෙනා නෙත් ...........'' නම් මෙම ගීතයේ තනු නිර්මාණය කරනු ලැබුවේ පුබුදු නුවන්ති හේවගේ විසින් වන අතර ඇය අප ආදරණීය ප්‍රවීණ ලේඛිකා මෙන්ම ගීත රචිකා වසන්තා මිහිඳුකුලසූරියගේ ආදරණීය දියණියයි.
අද දින මහරගම පන්සිළු ශබ්දාගාරයේ ජනක දළඳාවත්ත විසින් පටිගත කළ මෙම ගීතය මට කුළුඳුලේ රචනා කර දුන් උදාන, ක්‍රීඩා සහ ව්‍යායාම විද්‍යාව සඳහා වූ පර්යේෂණායතනයේ පර්යේෂණ සහකාරවරයෙකු සේම ක්‍රීඩා ජීවයාන්ත්රණය පිළිබඳ කැන්බරා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් ද වේ.
වසන්තා මිහිඳුකුලසූරිය නැමැති අපිට සිටින ප්රවීණතම සාහිත්‍යවේදිනියක් සහ ගීත රචිකාවියක් ද වන ඇයගේ දුවණිය පුබුදු ද ප්‍රවීණ ගායන ශිල්පියෙක් වෙනුවෙන් නිර්මාණය කළ පළමු තනුව මෙයයැයි දැනගෙන එය ගැයීමට ලැබීමත් මට සතුටට කරුණකි.
එමෙන්ම මෙහි සංගීත සංයෝජනය සිදුකරනු ලැබුවේ නව පරපුරේ දක්ෂ සංගීතඥයෙකු වන රුක්ෂාන් සුබසිංහ විසිනි.
ඔහු මින් පෙර සංගීතවත් කළ ගීත අතර ශිහාන් මිහිරංග, උමාරියා සිංහවංශ, නිරෝෂා විරාජිනි සහ කසුන් කල්හාර ජයවර්ධන යන ජනකාන්ත තරු විසින් ගැයූ ''සෙනෙහේ අම්මා'' නම් ගීතය ද අතිශය ජනාදරයට පත්වූ නිර්මාණයකි.
මෙම ගීතයේ පද, තනුව සේම සංගීතය ද වඩා රසැති වන සේම නිතර නොඇසෙන සංගීතයත්, නිතර නොගැයෙන මාතෘකාවක් සහිත පදත් සහිත මෙම ගීතය මගේ ගී ගොන්නේ ද සුවිශේෂී නිර්මාණයකි.
මෙහි පද මාලාව ද මේ සමග ගෙන එන්නෙමි.
පද මාලාව -
දිලිසෙනා නෙත් නුඹේ පුරුදු බව දැනුණා
වඩාගෙන ආදරෙන් සිපගන්න සිතුණා
සිත පුරා නුඹෙ දසුන මිහිරියට දැනුණා
මනු ලොවට සුර ලොවින් වැඩියාද සිතුණා
දඟකාරකම් හිතට ළං ළංව හැඟුණා
හුරු පුරුදු සුවඳක්ම හදවතට දැනුණා
වල ගැසෙන දෙකම්මුල් ඇගේමයි සිතුණා
සිනා හඬ මගෙ සවන් හැඳිනුවා දැනුණා
සිනා සලමින් ගියේ කොහේදෝ සිතුණා
නුඹව හිමි පිංවන්ත ඈ කවුද බැලුණා
දකින විට ඇගේ නෙත් මා දෙනෙත තෙමුණා
මගෙ නොවූ මගෙම වූ දූ නොවෙද සිතුණා
තෙරුවන් සරණින් නිදුක් නීරෝගී චිරජීවනය සේම නිර්මාණාත්මක දියුණුව ද උදාන, පුබුදු, රුක්ෂාන් සේම ජානක හට ද ඉතසිතින් මා ප්‍රාර්ථනා කරන්නෙමි !!!